දියවැඩියාවට දිගටම බෙහෙත් බිව්වහම වකුගඩු දියවෙනවද.........? Can tablets used for diabetes treatment cause kidney damage (Sinhala article)


දියවැඩියාව සැදීමේ ප්‍රවනතාවය ශ්‍රී ලංකාව තුල සීග්‍රයෙන් වැඩිවෙමින් පවතිනව. මෙම රෝගය පිළිබඳව මහජනතාව තුල විවිධ මත පැතිර පවතින අතර මේවායින් සත්‍ය අසත්‍ය දේ වෙන් කර හඳුනාගැනීම ඉතාම වැදගත් වේ. දියවැඩියාව පිලිබඳ පවතින මත කිහිපයක් පිළිබඳව මෙමෙ ලිපිය මගින් සාකච්චා කෙරේ.

දියවැඩියාව යනු තනි ලෙඩක්ද ..නැතිනම් එහි උපවර්ග පවතීද ?

දියවැඩියාව ප්‍රධාන වර්ග දෙකකට බෙදා වෙන්කර ගත හැකිය. ඒවා පළමු වර්ගය (Type 1) සහ දෙවන වර්ගය (Type 2) ලෙස නම්කර ඇත. පළමු වර්ගය (Type 1) ඇති රෝගීන්ගේ ශරීරය තුල ඉන්සියුලින් හෝමෝනය කිසිසේත් නොසැදෙන අතර ඉන්සියුලින් එන්නත් කිරීම මේ සඳහා දැනට ඇති පිළිගත් ප්‍රතිකාර ක්‍රමයයි. දෙවන වර්ගය සඳහා මුලිකව පෙති වර්ග භාවිත කරනු ලබන අතර සමහර අවස්ථා වලදී ඉන්සියුලින් හෝමෝනයද ලබාදෙයි. වඩාත් බහුල වර්ගය දෙවන වර්ගයයි.

අපට දියවැඩියාව (දෙවන වර්ගය-Type 2) හැදෙන්නේ ඇයි ?

අයහපත් ජීවන රටාව, ජානමය තත්වයන් වැනි හේතු රැසක් මේසඳහා බලපානව. මෙම රෝගීන්ගේ ශරීරය තුල යම් ඉන්සියුලින් ප්‍රමාණයක් නිපදවුනත් එහි ක්‍රියාකාරිත්වයට ශරීරය තුලින්ම ප්‍රතිරෝදයක් පැමිණීම මෙහි ඇති ප්‍රධාන ගැටලුවයි. ස්ථුල භාවය , පාන්, බත්, අල වර්ග වැනි අහාර වැඩිපුර ගැනීම සහ ක්‍රියාශීලිත්වය අඩුකම දියවැඩියාව සැදීමට බලපාන ප්‍රධාන හේතුවක් වෙනව. ඔබගේ මවුපියන්ට දියවැඩියාව තියෙනවනම් එහෙම නැත්නම් ඔබ මහත කෙනෙක් නම් ඉදිරියේදී ඔබටත් දියවැඩියාව හැදෙන්න ලොකු අවදානමක් තියෙනව. ඉන් මිදෙන්න අවශ්‍ය නම් ඔබගේ ජීවන රටාව අදම වෙනස් කරන්න පටන්ගන්න. 


දියවැඩියාවට හොඳම ප්‍රතිකාර ක්‍රමය කුමක්ද?

ප්‍රතිකාර ගැන කියද්දි ගොඩක් අය හොයන්නෙ හොඳම පෙති වර්ගය, හොදම දේශීය ඖෂධ වර්ගය  නැතිනම් වෙනත් අත් බෙහෙත් වර්ග ගැන. හැබැයි ඇත්තටම වැදගත් ප්‍රතිකාර ක්‍රමය තමයි තමන්ගේ ජීවන රටාව නිවැරදි කරගැනීම. නිවැරදි අහාර රටාව, දිනපතා ව්‍යායාම කිරීම වැනි දේ මගින් යහපත් ප්‍රතිපල ලබාගන්න පුළුවන්. හැබැයි මේ දේවල් කල යුත්තේ වෛද්‍ය උපදෙස් මත. නිසි වේලාවට අවශ්‍ය පරීක්ෂණ කල යුතුයි. නියමිත කාලයට තමන්ගේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගත යුතුයි. නමුත් බොහෝ අය දියවැඩියාව මුල් අවස්ථාවෙ ලොකු අමාරුවක් දැනෙන්නේ නැති නිසා පිළිවෙලකට බහෙත් ගන්නේ නැහැ. පරීක්ෂණ කරන්නේ නැහැ. ජීවන රටාව වෙනස් කරගන්නේ නැහැ. ඉතින් දන්නෙම නැතුව වසර කිහිපයකින් පස්සෙ දියවැඩියාවේ සංකුලතා මතුවෙනව. ඒව බරපතලයි. ප්‍රමාද වැඩි වෙන්නත් පුළුවන්.


දියවැඩියාව නිසා ඇතිවන සංකුලතා මොනවද?

දියවැඩියාව නිවැරදිව පාලනය නොකලොත් හෘදයාබාද , අංශ භාගය , වකුගඩු අබාධ, ඇස් නොපෙනීයාම, තුවාල සුව වීම ප්‍රමාදය, විවිධ බෝවන රෝගවලට ගොදුරු වීම ආදී සංකුලතා වලට ගොදුරු වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. ගොඩක් වෙලාවට මෙම තත්වයන් ඇතිවෙන්න අවුරුදු 5 ක්  10 ක් පමණ ගතවෙනව. එතකන් ලොකු අමාරුවක් දැනෙන්නෙ  නෑ .ගොඩක් අය මේ නිසා මුල් කාලයේදී දියවැඩියාව ගණන්ගන්නේ නෑ. නමුත්  මේ මුල අවුරුදු දහය දියවැඩියාව ඉතාම හොදින් පාලනය කිරීම ඉතාම වැදගත්. එහෙම කලොත් බරපතල සංකුලතා ඇතිවීම ගොඩක් ප්‍රමාද කරගන්න පුළුවන්.

දියවැඩියාවට ගන්න බෙහෙත් කාලයක්  ගන්නකොට වකුගඩු දියවෙන්න පුලුවන්ද?

වකුගඩුවලට ඇත්තටම හානි වෙන්නෙ දියවැඩියාව පාලනය නොවුනහම. කොහොමටත් දියවැඩියාව දිගු කලක් පවතිනකොට වකුගඩු වලට ස්වභාවිකවම බලපෑමක් ඇතිවෙන්න පුළුවන්. ගොඩක් අය හිතන්නෙ මේ බලපෑම ඇතිවුනේ බෙහෙත් බීපු නිසා කියල. ඇත්තටම බෙහෙත් මගින් වෙන්නෙ දියවැඩියාව පාලනය වෙලා වකුගඩු ආරක්ෂා කිරීමක්. වෛද්‍ය උපදෙස් වලට අනුව නිවැරදි ප්‍රමාණයෙන් ගැලපෙන බෙහෙත් ගන්නවානම් වකුගඩු පිළිබඳව අනවශ්‍ය බියක් ඇතිකරගන්න අවශ්‍ය නෑ. ඔබේ වෛද්‍යවරයා නිර්දේශ කරන පරීක්ෂාවන් සිදුකරන්න. එම වාර්තා අනුව වෛද්‍යවරයා අවශ්‍ය වෙනස්කම් සිදුකරාවි. මෙලෙස විශේෂයෙන්ම මුල්කාලයේ දියවැඩියාව පාලනය කල ගොඩක් අය ඉන්නව වකුගඩුවලට කිසිදු බලපෑමක් නොවුණු. ප්‍රශ්නයක් නැති නිසා අපට ඔවුන්ව එච්චර පෙන්නේ නැ . ගොඩක් අය කතා කරන්නේ තමාගේ රෝගී තත්වය ගැන කිසිදු තැකීමක් නොකරීම නිසා ප්‍රශ්න ආපු අය ගැන. ඔවුන් තමන්ගෙන් වෙච්ච අතපසුවීම වහගන්න බෙහෙත් පෙතිවලට වරද පටවනවා. හැබැයි ඔබට දැනටමත් වකුගඩු රෝගී තත්වයක් පවතිනව නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න. සමහරවිට ඔබ ගන්න බෙහෙත් වර්ග සහ ප්‍රමාණයන් වෙනස් කිරීමට සිදුවේවි.


වකුගඩු ආරක්ෂා කරගන්න අපි මොනවද කරන්න ඕනැ ?

වකුගඩු ආරක්ෂා කරගන්න අපි කලයුතු දේවල් කිහිපයක් තියෙනවා. දුම්පානය වහාම නවතන්න. මධ්‍යසාර භාවිතයත් වුකුගඩු විනාශ වෙන්න හේතුවක්. ප්‍රමාණවත්ව වතුර බොන්න. සමහර බෙහෙත් වර්ගත් මාස ගණන් ගත්තොත් වකුගඩු වලට හානි වෙන්න පුළුවන්. සමහර වේදනා නාශක , ප්‍රතිජීවක වර්ග වෛද්‍ය නිර්දේශයට වඩා ගත්තොත් බරපතල හානි සිදුවෙන්න පුළුවන්. රුධිර පීඩනය නිවැරදි මට්ටමක පවත්වාගන්න. මුත්‍රා මාර්ගය ආශ්‍රිත අසාදන, මුත්‍රා ගල් ආදියට සැලකිල්ලෙන් ප්‍රතිකාර ලබාගන්න. 

දියවැඩියාව ගැන හරි තොරතුරැ දැනගෙන හොදින් පාලනය කරගන්න. යහපත් ජීවන රටාවකට හුරුවෙන්න. දිගුකල් පවතින සුවැති  දිවියක් ඔබට උරුම කරාවි. 

-සැකසුම OSU Health වෛද්‍ය කණ්ඩායම


References:

1. Mohan V, Rani CS, Anandakumar A, Dhulipala S, Anjana RM, Parthasarathy B, Unnikrishnan R. Clinical Profile of Long-Term Survivors and Nonsurvivors With Type 2 Diabetes. Diabetes Care. 2013; 36:2190-2197. https://care.diabetesjournals.org/content/36/8/2190.abstract

2. Anyanwagu U, Mamza J, Donnelly R, Idris I. Comparison of cardiovascular and metabolic outcomes in people with type 2 diabetes on insulin versus non-insulin glucose-lowering therapies (GLTs): A systematic review and meta-analysis of clinical trials. Diabetes Res Clin Pract 2016; 121: 69-85. [PubMed]

3 .Marshall, S.M. 60 years of metformin use: a glance at the past and a look to the future. Diabetologia 60, 1561–1565 (2017). https://doi.org/10.1007/s00125-017-4343-y




















Comments